දුමින්ද දිසානායක ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ජුනි 26 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.
ඔවුන්ව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, රන් ආලේපිත T56 ගිනි අවියේ සිද්ධිය සම්බන්ධයෙනි.
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ T56 ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 23 වැනිදාය.
ඊට පෙර එම ගිනිඅවිය රැගෙන ආ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.